Sunday, January 30, 2022

වාග්විද්‍යාවේ දී භාෂාව පිළිබඳව විද්‍යාත්මක පදනමකින් හැදෑරීම සහ ඒ ඔස්සේ විද්‍යාත්මක ශික්ෂණයක් ඇති වීම

 


වාග්විද්‍යාවේ දී භාෂාව පිළිබඳව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ද අධ්‍යයනය කළ හැකිය.එහිදී විද්‍යාත්මක ශික්ෂණයක් ද සිදු වේ.ක්ෂුද්‍ර විද්‍යාවෙහි පවත්නා ශබ්ද විචාරය(phonetics) සහ ශබ්දයෝග විචාරයෙහි දී ( Phonology) ද භාෂාව පිළිබඳ විද්‍යාත්මක පදනමකින් යුක්තව හැදෑරීමක් සිදු කරයි.ඒ ඔස්සේ විද්‍යාත්මක ශික්ෂණයක් ද ඇති වේ.ශබ්ද විචාරය තල තුනක් යටතේ හඳුනාගත හැකිය. උච්චාරණාත්මක විචාරය(Articulatory phonetics),ශ්‍රවණාත්මක ශබ්ද විචාරය( Auditory) සහ ශ්‍රව්‍ය ධ්වනික (ශබ්ද තරංගාත්මක) Acoustic ශබ්ද විචාරය ලෙසයි.මේ ඔස්සේ උච්චාරණාත්මක ඉන්ද්‍රීය පද්ධතිය පිළිබඳවත් එහිදී ශබ්ද නිර්මාණය වීම සිදුවන ආකාරය පිළිබඳවත් ඉතාමත් ම විද්‍යාත්මක ශික්ෂණයකින් යුක්තව අවබෝධ වේ.

ශබ්ද නිෂ්පාදනය වන ආකාරය අනුව දිව(කරණය) අනුව ද ස්ථාන අනුව ද වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකිය. මෙලෙස ඇතිවන්නා වූ ශබ්ද ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව විද්‍යාත්මකව හදාරනු ලබයි. කවර බසක් වුවද විදහුරු ලෙස හැදෑරීමේ දී එම බසෙහි යෙදෙන ශබ්ද හා ශබ්දිම හෙවත් මූලික ශබ්ද පිළිබඳ දැනුම පූර්ව අවශ්‍යතාවයකි. සිය මව්බසෙහි ශබ්ද, ශබ්දිම තමන් දන්නා තවත් බසෙක සමාන වූ හෝ සමාන්තර වූ හෝ ශබ්ද සමඟ සැසඳීමේ හැකියාව ද යමෙකුට ඇත්නම් එය ඔහුට අමතර වාසියක් ලබාදේ.

අපගේ සිංහල වර්ණ මාලාවෙහි එන එක් එක් අකුරින් නියෝජනය වන ශබ්ද ස්වර-ව්‍යඤ්ජන,හ්‍රස්ව,ස්වර දීර්ඝ,පූර්ව ස්වර හා අපර ස්වර,ඉහළ ස්වර-පහළ ස්වර,මධ්‍ය ස්වර-උදාසීන ස්වර,සංවෘත ස්වර-අර්ධ සංවෘත ස්වර,අර්ධ විවෘත ස්වර-විවෘත ස්වර, නිවර්ත ව්‍යඤ්ජන-අවර්ත ව්‍යඤ්ජන, ස්පර්ශ-ඝර්ෂ පාර්ශවීය,රේඵය,අර්ධ ස්වර,ඌෂ්මාක්ෂර, අල්පප්‍රාණ-මහප්‍රාණ, ඝෝෂ-අඝෝෂ,නාසික්‍ය,දන්තෝෂ්ඨජ මූර්ධජ,තාලුජ,කාකුද්‍ය(කණ්ඨක) ආදී වශයෙන් පැහැදිලි ලෙසත් නිශ්චිත ලෙසත් හඳුන්වා දිය හැකි වනුයේ ඒ ඒ ශබ්දයේ විශේෂත්වය ඇතිකරන ඒ ඒ ලක්ෂණ වහල් කොට ගැනීමෙනි.


ඉංග්‍රීසි භාෂාවෙහි ද අක්ෂර විසිහයක් තිබුණද වාග් විද්‍යාඥයින් විසින් එයට වඩා ශබ්ද ඇති බව සොයාගෙන තිබේ. ඒ අනුව එය 49 දක්වා වැඩි බව ඔවුහු සොයා ගෙන තිබේ.සෑම භාෂාවක්ම මිනිසාට ශබ්ද කිරීම සඳහා පවතින්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියකි. අෆ්රිකාවේ “බන්තු”,”හාවුෂ්මන්” ගණයේ සමහර බසෙක හා ජෝජියන් වැනි වෙනත් ඇතැම් බසෙක ස්වල්ප වශයෙන් යෙදෙන රණිත ශබ්ද(Clicks), අන්තර් විධ(Interjective) හා අන්තර්විදාරිත(Implosive) ශබ්ද ස්වල්පයක් හැරුණු විට සාමාන්‍යයෙන් කතා ශබ්ද නිපදවනු ලබන්නේ පෙණහලුවලින් නිකුත් කෙරෙන ප්‍රාශ්වාස වායු ධාරාව මගිනි.එසේ හෙයින් අවශ්‍ය පීඩනය සැපයීමෙන් පෙණහලුවල ශ්වසන ක්‍රියාවලිය පවත්වා ගැනීමට වහල්වන ප්‍රාචීරයත්, පෙණහලුත්, ප්‍රාශ්වාස වායු ධාරාව ගමන් කරන මාර්ගයේහි පිහිටි ශ්වාසනාලය,ස්වර තන්තු,ග්‍රසනිකාව,අපිජිහ්වා,ජිහ්වා,ස්වාසනිකා,තල්ල, දත්,තොල්, විදුරුමස් යනාදි අවයව සහිත නාසිකාවත්,මුඛරන්ධ්‍ර,නාසිකාරන්ධ්‍රයත් ග්‍රසනිකාරන්ධ්‍රයත් යන අනුනාද රන්ධ්‍රයත්(Resonance chambers) වාග්විද්‍යාවේහි දී උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය වශයෙන් සලකනු ලබයි.


භාෂණය නොහොත් වචන උසුරුවීම සඳහා යථානුරූප ලෙස උච්චාරණේන්ද්‍රිය මෙහෙයවන මොළයේ භාෂණ කේන්ද්‍රිය නැතහොත් භාෂණ ප්‍රදේශය ඇතුළු ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් උච්චාරණේන්ද්‍රිය පද්ධතියේහිලා ගණන් නොගැනෙන බව සැලකිය යුතුය.මහාචාර්ය ග්රේ විසින් භාෂණය හා ශ්‍රවණය සමඟ මොලය ඇතුළු ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙහි ඇති සම්බන්ධය පෙන්වීම සඳහා භාෂාවේ පදනම(Foundation of Language) නම් ග්‍රන්ථයේහි ඒ පිළිබඳව විශ්ලේෂණාත්මකව දක්වා තිබේ.විවිධ කතා ශබ්දයන්ගේ ස්වරූප ලක්ෂණවලට ඒ ඒ උච්චාරණ ඉන්ද්‍රීය හා ප්‍රයත්නයන් ආදිය බලපාන ආකාරයත්, ශබ්ද හඳුනා ගැනීම සහ වර්ගීකරණයට ඒවා උපකාරී වන ආකාරයත් මීළඟට මෙහිදී අධ්‍යයනය කළ යුතු වේ.මෙහිලා පළමුකොට ස්වර ව්‍යඤ්ජන භේදයන්ගේ වෙනස හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වේ.

 අප කතා කරන වචන නිර්මාණය වී ඇත්තේ කථන ශබ්ද නැතහොත් ශබ්දිම නැමැති අවම ඒකකයන් ගෙන් වුවද ඒවා උසුරු වන්නේ වෙන් වෙන් ශබ්ද වශයෙන් නොව වර්ණ(Syllable) වශයෙනි. ස්වරයකට පෙර ස්වර ව්‍යංජන ශබ්ද කිහිපයක සංයුතියකට වර්ණයක් විය හැකිය. සෑම වර්ණයකම එක් න්‍යෂ්ටියක් (Neucleus) විය යුතු අතර වර්ණයක න්‍යෂ්ටිය වන්නේ ස්වරයකි.කිසියම් ශබ්දයක් උසුරුවීමේදී පෙණහලුවලින් එන වායු ධාරාව ස්තබ්ධව ඇදී සිටි ස්වරතන්තු ප්‍රකම්පනය කරමින් මුඛරන්ධ්‍රයට පිවිස මගදී පූර්ණ බාධනයකට,ශ්‍රෑයමාණ ඝර්ෂණයකට හෝ පාර්ශවීකරණාදී වෙනත් විකෘතියකට හසුනොවී බැහැරට නික්මයේ නම් එය ස්වර ශබ්දයක් බව වාග් විද්‍යාත්මකව භාෂාව සම්බන්ධයෙන් විද්‍යාත්මක ශික්ෂණයක් ඇති කරවාලන අයුරින් විශ්ලේෂණාත්මකව පැහැදිලි කර තිබේ.


කිසියම් ශබ්දයක් උසුරුවීමේදී පෙණහලුවලින් එන වායු ධාරාව ස්තබ්ධව හෝ ශිථිලව හෝ සිටි ස්වරතන්තු අතරින් ම මුඛරන්ධ්‍රයට පිවිස අතර මගදී පූර්ණ බාධනයකට ශ්‍රෑයමාන ඝර්ෂණයකට හෝ පාර්ශවීකරණාදී වෙනත් විකෘතියකට භාජනය වෙමින් නික්මයේනම් ඒ ව්‍යඤ්ජන ශබ්දයකි.මෙකී බාධනාකාරයේ වෙනස මෙන්ම බාධක ස්ථානයේ විවිධත්වය ද ව්‍යඤ්ජන ශබ්දවල විවිධත්වයට හේතු වේ.කථා ශබ්දයන්ගේ ඝෝෂාඝෝෂ භේදය ඇති වන්නේ ස්වරතන්තුවල ක්‍රියාකාරීත්වය අනුවය.ස්තබ්ධව ඇදී සිටී ස්වරතන්තු ප්‍රකම්පනය කරමින් වායුධාරාව ඒ අතරින් ගමන් කිරීමේදී ශබ්ද “ඝෝෂ”(Voiced) භාවයට හැරේ.සාමාන්‍යයෙන් සියලු ස්වර ශබ්ද හා අර්ධස්වර(Semivowels) ශබ්ද ඝෝෂයි.ව්‍යඤ්ජන ශබ්ද සමහරක් අඝෝෂ “ Voiceless” වන අතර සමහරක් සාමාන්‍යයෙන් සියලු ස්වර ශබ්ද හා අර්ධස්වර(Semivowels) ශබ්ද ඝෝෂයි.ව්‍යඤ්ජන ශබ්ද සමහරක් අඝෝෂ “ Voiceless” වන අතර සමහරක් ඝෝෂයි.ශිථිලව සිටි ස්වරතන්තු අතරින් වායු ධාරාව ගමන් කිරීම නිසා ශබ්ද අඝෝෂ වේ.


යථෝක්ත ව්‍යඤ්ජන නිර්වචනයෙහි කී පරිදි මුඛ මාර්ගයෙහි දී වායුධාරාවේ ගමනට පූර්ණ බාධාවක් මොහොතකට නැවැත්වීමක් සිදු වීමෙන් උපදින ව්‍යඤ්ජන ශබ්ද නිවර්තන(Stops) නම් වේ.මොහොතක බාධාවෙන් පසු විදාරණයකින් යුතුව වායු ධාරාව පිටවන හෙයින් විදාරිත (Plosive) ලෙසද බාධනයේ දී ස්ථාන කර්ණයන්ගෙන් පූර්ණ ස්පර්ශයක් සිදුවන හෙයින් ස්පර්ශ ලෙස ද හඳුන්වනු ලබයි.ස්පර්ශ ව්‍යඤ්ජන ශබ්දයන්ගේ අනුප්‍රභේද දැක්වීමට පෙර ස්ථාන-කරණ දෙක හඳුන්වාදිය යුතුය.බාධන ආදිය ඇතිකරමින් ව්‍යඤ්ජන ශබ්ද උපදවීමට මුල්වන ඕෂ්ඨජ-දන්ත-තාලු ආදී ස්ථානීය අවයව ස්ථාන නමින් ද ස්ථානයක් කරා එළඹ බාධන(ස්පර්ශ) ආදිය ඇතිකරමින් ශබ්ද උපදවීමට උපකාරී වන අධරෝෂ්ඨය (යටිතොල) හා දිව තුඩ,අග් දිව,මැද දිව,පසු දිව ඇතුළත් ජිහ්වාවත් යන අවයව කරණ නම් වේ.කරණ මුඛ මාර්ගයෙහි පහතින් පිහිටා ඇති අතර ස්ථාන පිහිටා ඇත්තේ ඉහළිනි.මේ සම්බන්ධයෙන් මීට ඉහතදී ද සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ ආකාරයෙන් වාග් විද්‍යාත්මක පදනමකින් ශබ්ද උපදින ආකාරය පිළිබඳව උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය ඔස්සේ විශ්ලේෂණාත්මකව කරුණු දැක්විය හැකිය.භාෂාවක් ශබ්ද කිරීමේහි දී උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය බොහෝ සෙයින් ම වැදගත් වේ.උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතියට කිසියම් වූ ආකාරයකින් හානියක් සිදු වූ විට භාෂාව හැසිරවීමට නොහැකි වේ. බොහෝ එවැනි ආබාධයනට ලක් වූවනට කථන චිකිත්සාව සිදු කරනු ලබති.(Speech Therapy) ලෙසින් එය හඳුන්වනු ලබයි. මේ නිසා වාග්විද්‍යාව විද්‍යාත්මක පදනමකින් හදාරන්නා වූ විෂයකි.එමෙන් ම භාෂාව පිළිබඳව විද්‍යාත්මක ශික්ෂණයක් ද ඇති කරවයි.


ඉරෝ දිසානායක ✍️

සමාජීය විද්‍යා හා භාෂා පීඨය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.


No comments:

Post a Comment